ඔයාගෙත් තියනවද? දැන්ම බලන්න
ඔයාගේ ඇගෙත් මේ වගේ ගැට තියෙනවද ? ඇදුම් අදිනකොට , නාන කොට එහෙම සමට යටින් තියෙන පුංචි ගුලියක් වගේ දෙයක් ඔයාගේ අතට අහුවෙලා තියෙනවද? ඒක තද කරාම හරිම මෙලෙක් ගතියක් වගේම ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව ටිකක් එහා මෙහා කරන්නත් පුළුවන්.
ඉතින් මේ වගේ පොඩි ගැටයක්, ගෙඩියක් අතට අහුවුණු ගමන් ගොඩක් අය හිතන්නේ ඒක පිළිකාවක් කියලා බය වෙන එක. එහෙම වෙන්න අවශ්‍ය නෑ. මේවාට කියන්නේ තෙල් ගෙඩි එහෙමත් නැත්තම් ඉංග්‍රීසි භාෂවෙන් ලිපෝමා (Lipoma) තත්වයක් කියලා. එහෙමත් සාමාන්‍ය තෙල් ගෙඩියක් කියන්නේ මොකක්ද, ඒක හැදෙන්නේ කොහොමද ? අපි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද කියලා හවුස් වයිෆ් ඔස්සේ අද අපි කතා කරමු.
ලිපෝමා (තෙල් ගෙඩි) කියන්නේ මොකක්ද?
අපේ සමට යටින් සහ මස්පිඩුවලට උඩින් තියෙනවා මේද සෛල (Fat cells) තට්ටුවක්. සමහර වෙලාවට මේ සෛල එක තැනකට එකතු වෙලා, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් වර්ධනය වෙලා පොඩි බෝලයක් වගේ හැදෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි, මේ සෛල ගොඩ වටේට තුනී පටකයකින් හැදුණු කවරයක් (Capsule) නිර්මාණය වෙන එක. ඒ නිසා මේ සෛල ඇඟේ අනිත් කොටස්වලට හෝ ලේවලට පැතිරෙන්නේ නැහැ.
සරලවම කිව්වොත්, ලිපෝමා කියන්නේ අපේ සමට යටින් තියෙන තෙල් (මේද) සෛල එක තැනකට එකතු වෙලා හැදෙන ගෙඩියක්. සමට යටින් තියෙන මේද සෛල අසාමාන්‍ය විදිහට එකට ගොනු වෙලා, ඒ වටේට තුනී ආවරණයක් (Capsule) හැදෙනවා. මේවා 99%ක්ම පිළිකා නොවන (Benign) ගෙඩි වර්ගයක්. ඒ කියන්නේ මේවායින් ඇඟේ අනිත් තැන්වලට ලෙඩේ පැතිරෙන්නේ නැහැ, මේවා භයානක නැහැ.
බෙල්ල පිටිපස්සේ, උරහිස්වල, පිටේ, බඩේ, අත් සහ කකුල්වල වගේ ගොඩක් තෙල් තියෙන ඕනෑම තැනක මේවා හැදෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ තෙල් ගෙඩිවලින් කිසිම වේදනාවක් හරි කරදරයක් හරි ඇතිවෙන්නේ නැහැ.
ඇයි මෙහෙම වෙන්නේ?
මේකට 100%ක්ම නිශ්චිත හේතුවක් තවම වෛද්‍ය විද්‍යාවේ හොයාගෙන නැහැ. හැබැයි ප්‍රධානම හේතුව විදිහට දකින්නේ ජානමය බලපෑම (Genetics). ඒ කියන්නේ පවුලේ අයට මේවා තියෙනවා නම්, ඔයාටත් එන්න තියෙන සම්භාවිතාව වැඩියි. ඒ ඇරෙන්න ඔයා කන කෑමක් නිසා හෝ ඔයාගේ වැරදි ජීවන රටාවක් නිසා හැදෙන ලෙඩක් නෙවෙයි මේක.
මේකෙන් කරදරයක් වෙන්නේ කොයි වෙලාවටද?
සාමාන්‍යයෙන් මේවා පාඩුවේ තියෙනවා. හැබැයි මෙන්න මේ අවස්ථාවලදී මේක ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්:
ප්‍රමාණයෙන් ලොකු වුණොත් - සෙන්ටිමීටර කිහිපයකට වඩා ගෙඩිය වර්ධනය වෙලා ලොකු වෙනවා නම්.
වේදනාවක් එනවා නම් - ගෙඩිය ලොකු වෙලා ඒක ස්නායුවක් (Nerve) ළඟ පිහිටලා ස්නායුව තෙරපෙන්න ගත්තොත්.
බාධාවක් වෙනවා නම් - ඇඳුම් අඳිනකොට හෝ එදිනෙදා වැඩ කරනකොට නිතරම හැප්පිලා අපහසුතාවයක් ඇති කරන තැනක තියෙනවා නම්.
පෙනුමට අවුලක් නම් - ගෙඩිය පිටතට පැහැදිලිව පේන තැනක තිබිලා ඒක ඔයාගේ ලස්සනට බාධාවක් වෙනවා නම්.
ලිපෝමා වලට කරන්න පුළුවන් දේවල්
ගොඩක් වෙලාවට මේ තෙල් ගෙඩිවලට කිසිම ප්‍රතිකාරයක් ඕනේ වෙන්නේ නැහැ. ඒත් උඩ කියපු හේතුවක් නිසා තෙල් ගෙඩිය තියෙන එක ඔයාට කරදරයක් විදිහට දැනෙනවා නම්, කරන්න පුළුවන් එකම සහ හොඳම දේ තමයි Operation එකකින් ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කරන එක. මේක හරිම සරල සැත්කමක්.
🛑 වැදගත්ම දේ
මතක තියාගන්න, අපේ හමට යටින් එන හැම ගෙඩියක්ම 'තෙල් ගෙඩි' නෙවෙයි. ඒ නිසා ඔයාම ඩොක්ටර් වෙලා ගෙදරට වෙලා ඉන්න යන්න එපා. මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් ඒක සාමාන්‍ය තෙල් ගෙඩියක් නෙවෙයි:
ගෙඩිය ඉක්මනින්, වේගයෙන් ලොකු වෙනවා නම්.
ඒ ගෙඩිය වේදනාකාරී නම්.
අතගාලා බලනකොට රබර් වගේ නැතුව, ගල් කැටයක් වගේ තදට (Hard) දැනෙනවා නම්.
ඇඟිල්ලෙන් තල්ලු කරනකොට එහා මෙහා යන්නේ නැතුව, මස්පිඩුවලට හිරවෙලා (Fixed) තියෙනවා නම්.
මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක්ට පෙන්නලා පරීක්ෂා කරගන්න එක අනිවාර්යයි. මේ වගේ ගැටිත්තක් ඔයාගෙත් තියෙනවා නම්, අන්තර්ජාලයෙන් අත්බෙහෙත් හොයන්නේ නැතුව, නිවැරදි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා වහාම ශල්‍ය වෛද්‍යවරයෙක් (Surgeon කෙනෙක්) හමුවන්න.
@highlight #srilanka #healthyliving #SinhalaHealth #සෞඛ් #doctor #Medical

Comments
Post a Comment